කෙසෙල් 1 කොටස


උද්භිද විද්‍යාත්මක නම- මියුසා විශේෂ

හැදින්වීම:

කෙසෙල් ගසේ සම්භවය වී ඇත්තේ මලයාසියාව ආශ්‍රිත අග්නිදිග ආසියාවේය. කෙසෙල් ජනප්‍රිය පලතුරක් මෙන්ම එළවළුවකි. දැනට ලෝකයේ වගා කරන වැදගත්ම බෝගයක් වන වී, තිරිගු සහ බඩඉරිගුවලට පසුව හතරවන වැදගත්ම බෝගය වශයෙන් සැලකෙන්නේ කෙසෙල්ය. එසේම ලෝකයේ වගා කරන පළතුරු අතරින් දෙවැනි වන්නේ දොඩම්වලට පමණි.

ශ්‍රී ලංකාවේ වගාකර ඇති මුළු භූමි වපසරියෙන් 54% ක්ම ඇත්තේ කෙසෙල්ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ.


පෝෂණ අගය

පෝෂක
ප්‍රමාණය %
පළතුරක් වශයෙන් ගන්නා වර්ග
පිසීමට ගන්නා වර්ග
ජලය
73 - 75
64 - 69
කාබෝහයිට්‍රේට්
23.20
30
ප්‍රෝටීන්
1.16
1.20
දළ තන්තු
0.76
0.45
මේදය
0.36
0.43

කෙසෙල් ප්‍රභේද

වියළි කලාපය හා අතරමැදි කලාපය

සීනි කෙසෙල් (ABB)
  • ප්‍රදේශය අනුව උස මීටර් 2 - 4 අතර වෙනස් වේ.
  • කඳ දීප්තිමත් කොළ පාටයි.
  • පත්‍ර වෘන්තයේ දාර මුළුමනින්ම ඇතුලට නැමී ඇත.
  • පත්‍ර තලය පළල්ය.
  • කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත තැබිලි පාටට හුරු රතු පාටය.
  • කොළපුවල නාරටි මතු වී ඇත.
  • කැන්වල ප්‍රමාණය පාලන තත්ත්ව මත වෙනස් වේ.

ඇම්බන් (AAA)
  • කඳ මීටර් 4 - 4.5 පමණ උස් වේ.
  • කොළ පාට කදේ දම් පාට පැල්ලම් ඇති වේ.
  • පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය.
  • කෙසෙල් මුහයේ කොළපු දම් පාටය.
  • ඇවරි කිට්ටුවෙන් ඇහිරී ඇත.
  • ගෙඩියක් සෙ.මී. 16 - 18 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 14 - 16 පමණ වේ.

ආනමාළු (AAA)
  • මීටර් 3 - 5 පමණ උස් වන ප්‍රභේදයකි.
  • කඳ කොළ පැහැතිය.
  • පත්‍ර තලය පළල්ය. පත්‍ර නටුව පිටතට වක්‍ර වනසේ හොඳින් විවෘතව ඇත.
  • කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත දම් පාටට හුරු කොළ පාට වන අතර ඇතුලත පෘෂ්ඨය කහ පාටට හුරු කොල පාටය. මුල් අවස්ථාවේ කෙසෙල් මුහය කොළ පාටට හුරුය.
  • ගෙඩි සාමාන්‍යයෙන් සෙ.මී. 25 පමණ දික්වන අතර පරිධිය සෙ.මී. 1.5 -1.8 පමණ වේ.
  • කැනක බර කි.ග්‍රෑම් 12 - 18 පමණ වේ.

කෝලිකුට්ටු (AAB)
  • ගසක් මීටර් 2 1/2 - 3 ක් පමණ උස්ව වැඩේ.
  • කඳ කොළ පාටය.
  • පත්‍ර නටුව කෙලවර දම් පාටට හුරු රෝස පාට දාරයක් සහිතය.
  • පත්‍ර කඳ කොළ පාටය, පළල්ය.
  • වැඩි වශයෙන් කඩුපත් මොරෙයියන් හටගනී.
  • කෙසෙල් මුහය දම් පාටට හුරුය.
  • කැන පහලට එල්ලා වැටෙන අතර කැනේ මැද නාරටිය දම් පාටට හුරුය.
  • මිහිරි සුවදක් ඇති අතර ගෙඩි තරමක් වක්වී ඇත.
  • ලාක්ෂණික වශයෙන් මෙම ප්‍රභේද ඉදෙන විට ගෙඩිවල පුල්ලි මතුවන අතර ඉදෙන විට ලෙල්ල දික්අතට පිපිරීම සිදුවේ.

ඇඹුල් කෙසෙල් (AAB)
  • මීටර් 3 - 3.5 පමණ උස්ව වැඩෙන දම් පාටට හුරු රතු පාට කඳක් ඇත.
  • බොහෝ විට දම් පාට වර්ණක ව්‍යාජ කදේ‍ දැකිය හැකිය.
  • පත්‍ර නටුවේ දාර දම් පාටය.
  • පත්‍ර මැද නාරටිය දම් පාටට හුරු කොළ පාටය.
  • ගෙඩි තරමක් වක්වී සිලින්ඩරාකාරව පවතී.
  • ඉදෙන විට දීප්තිමත් කහ පාටක් ගනී.
  • ගෙඩි ඇඹුල් රසයෙන් යුක්තය.
  • මනා පාලන තත්ත්ව යටතේ කිලෝ ග්‍රෑම් 25 - 30 දක්වා වූ කැන් ලබා ගත හැක.
රතඹලා (AAA
  • ගසක් උසින් මීටර් 3 - 3.5 දක්වා වැඩේ.
  • රතු පාට පැල්ලම් දැකිය හැක.
  • පත්‍ර වෘන්තය යටි පැත්තට වක්‍රවී ඇති අතර එහි දාරය දම් පාට දාරයකින් සීමා වී ඇත.
  • පත්‍රයේ උඩු පෘෂ්ඨය කොළ පාට වන අතර යටි පැත්ත රතු පාටය.
  • කැන අර්ධව තිරස්ව වර්ධනය වේ.
  • පොත්ත තද පාට වන අතර මදය තැඹිලි පාටය.
  • කැනක බර සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 8 - 18 පමණ වේ.
  • කෙසෙල් ගුල්ලාගේ හානියට අධික ලෙස පාත්‍ර වේ.

කණ්ඩුල (AAAB)
  • චතුර්ගුණ ප්‍රභේදයකි
  • දෙමුහුම් වර්ගයකි.
  • මෙය පළතුරක් හා එළවළු වශයෙන් භාවිතා කළ හැකි ද්විකාර්ය ප්‍රභේදයකි.
  • කඳ කළු පාටට හුරු තද දම් පාටින් යුක්තය.
  • උස මීටර් 2 - 2.5 පමණ වේ.
  • කඳ ඉතා ශක්තිමත්ය.
  • පත්‍ර තද කොළ පාට වන අතර මුහයේ පැහැය තද දම් පාටය.
  • නියං ප්‍රතිරෝධීය.
  • කළු සිගටෝකා පත්‍ර ලප රෝගයට ප්‍රතිරෝධීය.
  • ශක්තිමත් කඳක් සහිත නිසා අහිතකර දේශගුණික හා පාංශු තත්ත්වයන්ට ඔරොත්තු දෙයි.

නදී (AAB)
  • ඇඹුල් කෙසෙල් වගා දර්ශයන් අතරින් උසස් ගුණාත්මයෙන් යුතු කෙසෙල් වගා දර්ශයකි.
  • පළතුරක් ලෙස පමණක් ගැනෙන ප්‍රභේදයකි.
  • ලා කොළ පාට කඳක් ඇති අතර පත්‍ර වල ස්වභාවය ඇඹුල් කෙසෙල් ආකාර වෙයි.
  • මනා පාලන තත්ත්ව යටතේ විශාල කැන් හටගනී.

පිසීමට ගන්නා කෙසෙල් ප්‍රභේද

පුලතිසි (AABB)
  • චතුර්ගුණ ප්‍රභේදයකි
  • දෙමුහුම් ප්‍රභේදයකි.
  • කඳ මීටර් 1 1/2 - 2 පමණ උසක් ඇත.
  • කඳ තද කොළ පාට, පත්‍ර පළල්ය.
  • කෙසෙල් මුහ විශාලය, මුහයේ කොලපු හැලීමක් සිදු නොවේ.
  • දිගු කලක් කැනෙහි මධ්‍ය නාරටියට ඇලී පවතී.
  • නියං ප්‍රතිරෝධී වන අතර කළු සිගටොා්කා රෝගයටද ප්‍රතිරෝධීය.
  • නිසරු පසේ වුවද හොදින් ප්‍රතිචාර දක්වයි.
  • වරකට එක් ඇවරියක් බැගින් ගසේ කැන තිබියදීම කපා ගෙන පරිභෝජනය කළ හැකිය.
  • සැකසීම සදහා ඉතාමත් සුදුසු ප්‍රභේදයකි.


ප්‍රසාද්
  • දේශීය අළු කෙසෙල් වර්ගයකි.
  • සාමාන්‍ය අළුකෙසෙල් ලක්ෂණ මේ වර්ගයටද පොදු වේ.
  • ගෙඩිවල කෙලවර ප්‍රමුඛ ඉදිමුමක් ඇත.
  • අළුකෙසෙල් වියළි කලාපයට පමණක් නිර්දේශ කර ඇති නමුත් ප්‍රසාද් වියළි හා තෙත් කලාප දෙකටම නිර්දේශ කර ඇත.
  • කැනක බර කිලෝ ග්‍රෑම් 15 - 16 පමණ වේ.

මොන්දන් (ABB)
  • පිසීම සඳහා පමණක් යොදා ගනී.
  • ව්‍යාජ කඳ කොල පාටය.
  • පත්‍ර නටුව ලා කොල පාටය. පත්‍ර තලයේ උඩු පෘෂ්ඨය තද කොළ පාටය.
  • කෙසෙල් මුහය ඉලිප්සාකාරය.
  • කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය.

මැටි කිතල (ABB)
  • කදේ රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත.
  • පත්‍ර තලය දම් පාටට හුරු කොළ පාටය.
  • පත්‍ර නටුවේ දම් පාට දාරයක් ඇත. එය පිටතට වක්වී නොමැත.

ඇටමුරු (ABB)
  • පිසීම සඳහා යොදා ගනී.
  • සමහර ගෙඩි වල බීජ කිහිපයක් ඇත.
  • කඳ කොළ පාට වන අතර ලා දම් පාට පැල්ලම් ඇත.
  • පත්‍ර තලයේ උඩු පැත්ත තද කොළ පාටය. යටි පැත්ත ලා දම් පාටය.

අළු කෙසෙල් (ABB)
  • ඉතාමත් ජනප්‍රිය එළවළුවක් වශයෙන් යොදා ගන්නා ප්‍රභේදයකි.
  • කඳ කොළ පැහැතිය. පත්‍ර තලය අදුරු කොළ පැහැතිය.
  • කෙසෙල් මුහයේ කොළපු දම්පාටය. පැහැදිලි කොළපු නාරටි බේරී ඇත.
  • නොමේරූ කැන් ඇන්ත්‍රැක්ස්නෝස් දිලීර රෝගයට පාත්‍රවේ.

තෙත් කලාපය

පූවාළු (ABB)
  • ව්‍යාජ කඳ මීටර් 03 පමණ උස්වේ.
  • පත්‍ර පාද වල දුඹුරු පාටට හුරු කළු පාට සළකුණු ඇත.
  • පත්‍ර නටුවේ දම්පාට දාරයක් ඇත.
  • කොළපු වල පැහැදිලි නාරටි ඇත.
  • කෙසෙල් කැන තරමක් කෝණයකට තිරස්ව පිහිටා ඇත.
  • කැනේ නටුව දම් පාටට හුරු කොළ පාටය.
  • ගෙඩියක් සෙ.මී. 12 - 15 පමණ දික්වේ. එහි පරිධිය සෙ.මී. 15 - 18 පමණ වේ.
  • ගෙඩිය හරස්කඩකට කැපූ විට ත්‍රිකෝණාකාරය.
  • සාමාන්‍යයෙන් කැනක් කිලෝ ග්‍රෑම් 15 - 16 පමණ යහපත් පාළන තත්ත්ව යටතේ ලබා ගත හැක.

බිං කෙසෙල් (AAA)
  • සාමාන්‍ය ව්‍යවහාරයේදී නැව් කෙසෙල් වශයෙන්ද මෙම ප්‍රභේදය හැදින්වේ.
  • ඩ්වෝෆ් කැවෙන්ඩි‍ෂ් වර්ගය ලෙසද දැක්වෙන්නේ මෙම ප්‍රභේදයයි.
  • කදේ උස මීටර් 1.5 - 1.7 පමණ වන අතර කඳ කළු පාටට හුරු තද දුඹුරු පාටය.
  • පත්‍ර නටුව දාරයේ දම් පාට බෝඩරයක් ඇත.
  • පත්‍ර තලය තද කොළ පාටය.
  • කෙසෙල් මුහෙහි කොළපු කෙසෙල් කැනෙහි කඳට අවසානය දක්වාම ඇලී පවතී.
  • මෙය වඳ පීදීමේදී වෛරසයට අධික ලෙස පාත්‍ර වේ.
  • ඉතා රසවත් ප්‍රභේදයකි.

මෙම ප්‍රභේදවලට අමතරව වියළි කලාපයටද ඔරොත්තු දෙන පහත සදහන් ප්‍රභේද ද තෙත් කලාපයට නිර්දේශ කර ඇත.


(කෙසෙල් වගාව දෙවන ලිපිය කියවන්න )


Comments